Saturday, July 11, 2015

සකල සිරින් පිරි සිරි ලංකාවේ දේශප්‍රේමය

ලෝකෙන් උතුම් රට යැයි අප විසින්ම විරුදාවලී පටබැඳගෙන තිබෙන සහ "ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" නම් වූ ලොවෙත් නැති විකාරරූපී විශේෂණ පදයෙන් නිල වශයෙන් හඳුන්වාගනු ලබන, සකල සිරින් පිරි මේ සිරි ලංකා දූපත, ඒ මේ කොයි ආකාරයෙන් වර්ණනා කර ගනු ලැබූයේ වුවද, අවසාන විග්‍රහයේ දී අන් කිසිවක්වත් නොව හුදෙක් ගෝත්‍රික දූපත් රාජ්‍යයක් පමණක් ම වන්නේ යැයි මා කියන විට මගේ මිත්‍ර අසන්නන් යටි ඇසින් බලා ඔරවන්නේ, තුන් වරක් බුද්ධ පාදස්පර්ශයෙන් පවිත්‍ර වී යයි ඔවුන් අදහාගෙන සිටින සහ, මිලියන 33,000 ක දේවතා- ආරක්ෂක බලකායකගේ නිරන්තර සුපරීක්ෂණය සහ ආරක්ෂාව යටතේ ඇතැයි කියනු ලබන මේ තාම්‍රපර්ණී දේශය, මසැසට කෙසේ පෙනුණ ද, මනැසින් නම් තාවතිංස විමානයක් සදිසි ව ගෙන ත්‍රෛයිලෝක විජයපත්‍ර පන්නයේ ආතල් එකක් ගැනීමට කුඩා වියේ සිටම උන් හැම පුරුදු කරවනු ලැබ ඇති බැවිනි.

හාත්පසින් ම මහා සයුරින් වට වී ඇති මේ කොදෙව් රාජ්‍යයේ උපදින, ජීවිත කාලයටම ඉන් ඔබ්බට පය නොතබා එහි ම නැසී යන මේ හුදී ජන බහුතරය, සකල සිරින් පිරි සිරි ලංකාව ලෝක ගෝලයේ හරි මැද පිහිටා ඇතැයි ද, පෘථිවිය පමණක් නොව සමස්ත විශ්වයම ඒ වටා පරිභ්‍රමණය වෙමින් පවතිතැයි ද අවිඥානිකව ම කල්පනා කරති.

මේ මතයන්ට පදනම් වන බහුබූත සංකල්ප වැඩි වශයෙන් ම පෝෂණය කර වගා දිගා කරන්නේ ජනගහනයෙන් 6% ක් පමණ වන, "බස් බෝඩ් කියැවීමේ සාක්ෂරතාවය" අහිමි, එබැවින් නූගත් යැයි සලකන මිනිසුන් නොව,  "පරිගණක සාක්ෂරතාව" හිමි සහ, එනිසා ම අන්තර්ජාලයටත් සමාජ ජාල මාධ්‍යටයත් ප්‍රවේශය ලබා ඇති, ලූලන් නැති වලේ සිටින උගත් කණයන් පිරිසකි.

මේ පිරිස ට අනුව නවීන විද්‍යාවේ සියලු ම සොයා ගැනීම් නම්, "හෙළයන්" විසින් වසර දහස් ගණනකට එපිට නිපදවා පාවිච්චියට ගත් තාක්ෂණය මෑතක දී බටහිරයන් විසින් සොරා ගැනීමේ ප්‍රතිඵලයන් ය. විදේශිකයන් දිවා රෑ නොතකා තවමත් කල්පනා කරමින් සිටින්නේ අපටවත් සොයා ගන්නට බැරිව මෙහි වැළලී ඇතැයි කියන රාවණාගේ පුෂ්පක විමානය ඇතුළු ඉතිරි තාක්ෂණික රහස් ටිකත් සොරා ගැනීම පිණිස සකල සිරින් පිරි සිරි දූපතට ගේම දෙන ක්‍රමයකි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලත්, ලෝක බැංකුවත්, ජිනීවා මානව හිමිකම් කොමිසමත් ඇතුළු එකි මෙකී නොකී සියළුම සංවිධාන මේ මහා සැළැස්මේ අතකොළු වෙති!

සමහර විටෙක, ඈත වැව් පිටියක ජපන් නිකොන් කැමරාවක් අටවාගෙන කොකුන්ගේ පින්තූර ගන්නා දේශප්‍රේමියකුගේ පින්තූර මත හිටි හැටියේ රාවණාගේ දඬුමොනරය පාදුර්භූත වෙයි. මා වැනි අමන දේශද්‍රෝහීන් මේවා දුටු විට මේ නම් කැමරාව ඉදිරියේ තණකොළපෙත්තෙකු චලනය වීමෙන් ඇති වූ ඡායාවක් යැයි කියා "බටහිර යුදෙව් චින්තනය" අනුව සිදුවීම පැහැදිළි කරන්නට ගියහොත් ඒ  පැහැදිළි කළ එකාගේ අම්මා මෝ ට ද නිවනක් නැතිව යයි.!!!

මේ ස්වෝත්තමවාදීන් කියන කරන කෙරුම් පමණක් ම දකින, බැහැර ලෝකය අන් ඇසකින් නොදකින කෙනෙකුට නිසැකවම හැඟී යනු ඇත්තේ ඇමරිකාවේ බැරැක් ඔබාමා,  නිදි වර්ජිතව, ඇඳ විට්ටමට කොට්ටයකුත් තබාගෙන ඊට බර දී,  සිරි දූපකට අඹරන හැටියක්  ම සිතමින් දිනක් නොහැර රැය පහන් කරන හැටිය කි.

"හෙළයන්" ගේ මේ අවිද්‍යාවෙන් අන් කවරෙකුටත් වඩා අපමණක් ප්‍රතිලාභ ලබන්නේ දේශපාලකයන් ය. පපුවට දෑතින් ම තඩි බා ගනිමින් මේ උතුම් භූමිය වෙනුවෙන් පෝරකයට වුවත් යෑමට තමන් සූදානම් යැයි බෑඟිරි දෙන විට චූන් වන හුදී ජනතාවක්  ඔවුන් වෙනුවෙන් නිරිමාණය කර දීමට මේ ස්වෝත්තමවාදය අපමණ පිටුබලයක් වෙයි. බස් බෝඩ් කියැවීමේ හැකියාව නිසා "සාක්ෂරතාවය" ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධාවය විසින් බෞතීස්ම කරන ලද, අකුරු මිස අකුරු පසුපස ඇති යථාර්ථය නොදකින මේ බහුතරයක් වන මිනිස්සු, තමන් අසන දකින දේ අන්ධ භක්තිකව විශ්වාස කරති.

ඇමරිකාවෙන් පැමිණ විදුලි පුටුවට කුදලාගෙන ගියත් බය නැති බව පවසන දේශපාලකයා, සිය රටේ අල්ලස් කොමිසමෙන් කැඳවූ විට යන්න බෑ කියමින්, තම්බි ගෙන යන්නට හදන වයිරා මෙන් කුර හතර බිමට ඔබාගෙන ඇස් උඩ ඉන්දාගෙන පස්සට අදින්නේත්, එවිට ඔහු වට කර ගත් අනෙක් දේශපාලුවන් රැළ රටම දෙවනත් වන්නට උම්බෑ කියන්නේත් ඇයිදැයි සිතීමට, මේ නිසා උහු යුහුසුළු නොවෙති.

දේශමාමක දේශපාලකයන් ගිරිය පුප්පාගෙන පොළවේ පස් කමින් ඇමරිකාවට අභියෝග කරන්නේ ඇමරිකන් කාරයන් සිය උතුම් මාතෘ භූමිය ට ඇඟිල්ලක් හෝ තැබුවොත් අල්ලා පරසක්වල ගසන තරම් රණකාමී ආවේගයකින් වුවත්, ඔවුන්ට යන්තම් මුත්‍ර අඩස්සියක් හැදුණු වහාම දුවන්නේ කොළඹ මහ රෝහලටවත්, අඩු තරමින් බෙයිජිං, හවානා හෝ මොස්කව් හි රෝහලකටවත් නොව ඇමරිකාවෛ් බොස්ටන්  නුවරක රෝහලකට බව ඔවුන්  දෙවියන් සේ අදහා වැඳුම් පිඳුම් කරන අන්ධ අනුගාමික හුදී ජනයා නො දකියි, නො සිතයි.

 දේශප්‍රේමයේ සුදු ාරද්දෙන් වසාගෙන මොවුන් යටි මඩි ගහන රටේ ජාතික ධනය යනු තමන් ද ඇතුළු රටේ සමස්ත ජනගහනයගේ ම ප්‍රයෝජනය පිණිස ඇති, ඒ ජනයා විසින් ම ඉපැයූ හෝ  පිටරටින් ණයට ගත්, නූපන් දරුවන් ද ඇතුළු වර්තමාන සහ අනාගත සමස්ත පර්ම්පරාවන් විසින් ම වගකීම දරන  වත්කම් බව "රාවණාගේ දඬු මොණරය" පරිස්සම් කර ගන්නට වලි කන දේශප්‍රේමී ජනතාව සළකන බවක් නො පෙනේ.

බල්ලන් සුව පහසු මෙට්ටයක් මත නිදන්නට ගියත් නින්දට යන්නට පෙර එක තැන වටයක් දෙකක් කැරකෙන්නේ අතීතයේ වනගත ව විසූ උන්ගේ මුතුන්මිත්තන් වනයේ කොළ රොඩු සමතලා කොට යහන තනා ගැනීම පිණිස කරන ලද කුියාවේ නෂ්ඨාවශේෂයන් වශයෙනැයි සත්ත්ව විද්‍යාඥයෝ කියති.

මධ්‍යකාලීන ලංකාවේ කුල ධූරාවලිය මත පදනම් වූ වැඩ වසම් සමාජ ක්‍රමයක් තිබිණැයි ද, උසස් කුලවතුන් නිවෙසට රැය පහන් කරන්නට පැමිණි විට එම කුලවතාට කෙරෙන අගන්තුක සත්කාරයනක් වශයෙන් සිය බිරිඳ හෝ වැඩි විය පත් දියණියක් ඔහු සහග රැය පහන් කරන්නට ඔහු ගේ සයනාගාරයට යැවීමේ සිරිතක් එකල විනැයි ද මෙරට පුරාණ සමාජය ගැන පර්යේෂණ කළ උගත්තු කියති.

මේ රටේ ‍ඊනියා දේශප්‍රේමීන්ගේ පසුපස වන්දනාවේ යන හුදී ජනයාගේ චින්තනය පැහැදිළි කළ හැක්කේ සත්ත්ව විද්‍යාවෙන් සහ සමාජ විද්‍යාවෙන් ගත් මේ තියරි දෙක හයිබ්‍රිඩ් කිරීමෙන් පමණ කි.

No comments:

Post a Comment