Thursday, July 9, 2015

කී දේ කළ අපේ අතිගරු නොවන ජනපති

අපේ අතිගරු නොවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රට කළඹන වික්‍රමයක් කර තිබේ. එය, ගිය දෙසැම්බරයේ දී ඒමහතා අපේ හිටපු ජනාධිපති රාජෝත්තමයා‍ණන් වෙතින් ආප්ප සප්පායම් වී පැමිණ ඊට පසුදා එතුමාණන්ගේ ම ප්‍රතිවාදියා ලෙස තරඟ බිමට බැසීමෙන් පාන ලද්දා වූ මහා වික්‍රමයට පසුව ඔහු විසින් කරන්නට යෙදුණ ලොකුම වික්‍රමය ද වෙයි. දැන් මේ ශ්‍රී දූපතේ සිටින තනේ කටින් නොහැරියා වූ පොඩි එකා පවා දන්නා පරිදි අපේ අතිගරු නොවන ජනාධිපතිතුමා, එතුමා ට ඡන්දය ප්‍රකාශ කළ ඡන්දදායකයන් 62 ලක්ෂයක් විසින් පසුගිය ජනවාරි 08 වැනි දා පරාජය කරන්නට යෙදුණ හිටපු ජනාධිපති රාජෝත්තමයාණන්ට එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය තරඟ කිරීම පිණිස නාම යෝජන‍ා දෙන්නට තීන්දු කර ඇත. මේ තීන්දුව නිසා, එතුමා පෑ පළමු වික්‍රමයෙන් සාතිශය සංවේගයට පත්ව සිටි 58 ලක්ෂයක ජනතාවක්අද දින වන විට පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොස් ඇති අතර, එදා ඒ වික්‍රමයෙන් ප්‍රමෝදයටත් ආනන්දයටත් පත් ව සිටි බහුතර ජනතාව අශ්වයා මළ කව් බෝයිලා ගේ තත්ත්වයට ප ත් ව සිටිති.

එනමුත් හිටපු ජනාධිපති රාජෝත්තමයා‍ණන් ට නාම යෝජනා ලැබීම කිසිවෙකුටත් පුදුමයට හෝ කණගාටුටව හෝ පත් වන්නට තරම් කරුණක් නොවේ. ඇරත්,  මේ නාමයෝජනා අවස්ථාව අපේ අතිගරු නොවන ජනාධිපතිතුමන් විසින් හිටපු මහ රාජෝත්තමයාණන් වෙත සලසා දෙනු ලැබීම සඳහා කරුණු යෙදී ඇත්තේ, බහුතර ජනතාව ලත් ජනවාරි විජයග්‍රහණය තුළින් ජනපති පදවි ලැබීමෙන් පසු  ඒ මහතා සන්ධානයේ නායකත්ත්වයට ද පත් වූ බැවින් ය. නොඑසේව, එතුමා ජනාධිතිවරණයේ දී ජනතාවට පිළිණ දුන්නා වූ පරිදිම ජයග්‍රහණයෙන් පසුවත් නිර්පාක්ෂිකව සිටියේ වී නම්, අදත් සන්ධානයේ කෙරුමා හිටපු මහරාජෝත්තමයාණන් ම ය. එසේ වී නම්, ඒත් එතුමාණන් වහන්සේ මේ මහ මැතිවරණයට සංධානයේ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ ම ය.

එහෙත්, 62 ලක්ෂයක් ජනතාව වික්ෂිප්ත කළ කරුණ එය නොව, මෙය‍‍ට දින 180 කට පෙර සිටි දිශාවෙන් අප අතිගරු නොවන ජනාධිපතිතුමා මේවන විට අංශක  180 ක් ම කැරකි සිටීමය.  එහෙත් එය ද එතුමා එතුමා ගේ ප්‍රතිපත්ති යෙන් බැහැර වීමක් සේ සැළකිය හැකි ද නොවේ. එදා ආප්ප සංග්‍රහය භුක්ති විඳ නික්ම ආ දින සිට අපගේ අතිගරු නොවන ජනාධිපතිතුමා   ගෙවා ආ ගමන් මග විමසිල්ලට ලක් කළොත්, ඒ මුළු කාලයේ ම  කළ කී කිසිවක්  ම සඳහා කිසිදු ප්‍රතිපත්තියක් ඇති ව නොසිටි ඒ මහතා, මේ මැතිවරණ නාම යෝජනා තේරීම සඳහා  පමණක් ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරනු ඇතැයි හුදී මහජනයා විසින් සිතීම කෙතරම් අයුක්ති යුක්ත ද?

කෙසේ වෙතත් මේ සිද්ධි දාමයෙන් එකක් නම් තහවුරු කෙරී තිබේ. ඒ නම්, සිරිසේන මහතා එතත් කියා අනිකක් කරන ජාතියේ අයෙකු නොවන බව ය. ජනාධිපති ලෙස පත් වූ විගසම ඒ මහතා කීවේ තමා අතිගරු ජනාධිපති ලෙස හැඳින්වීම අනවශ්‍ය බවයි. මේ කීම ඒ හැටියෙන් ම පිළි නොගත්, නායකයන් දේවත්වයට ඔසවා තබා ඔවුන්ගේ සපත්තුවේ පහසත්, සබුක්කුවේ පහරත් ලබන්නට සහ  ඒ නායකයන්ගේ ම ප්‍රශස්තිය රෙදි නැතිව ගයන්නට හුරු ව සිටි අපේ වහල් ජනතාව දිගින් දිගට ම තමා අනුමත නොනකරන ඒ නුසුදුසු විරුදාවලිය තමාට ආරෝපණය කරන බව  දුටු ඒ අවංක මහතා, දැන් තමා අතිගරු නොවන ජනාධිපති කෙනෙකු බව ක්‍රියාවෙන් ම ලෝකය හමුවේ ඔප්පු කර පෙන්වා ඇත! තවත් ඉතිං රෙදි ඇඳගෙන කියාපල්ලකො අපේ “අතිගරු“ ජනාධිපති කියලා!!!!

කෙසේ නමුත්, මේ සියල්ල අවසානයේසිදුවී ඇත්තේ, පැය 24 සිංහල, හඳේ හාල්, ඇට අට, 3.50 පාන්, ආසියාවේ ඓශ්චර්යය ආදී කැරට් අල වළඳමින් එකතැන කැරකෙන්න ට හැට වසරක් තිස්සේඉරණම් කොට සිටින ජනතාවක්  යහපාලන ගුලියත් වළඳා, තවත් වටයකින් හිටි තැනටම ආපසු අවුත් ඇටි කෙහෙල් කෑ උගුඩුවන් සේ බලා සිටීම ය.

මේ රටට " ද ලෑන්ඩ් ලයික් නෝ අදර්" කියා කී එකාගේනම් කටේ  එබිය යුත්තේ මසුරන් නොව රෙන්මින්බි ය!!



No comments:

Post a Comment