Sunday, February 1, 2015

කළගුණ සැලකීම

කළගුණ සැලකීම සත් කාර්යයක් වශයෙන් අපට කුඩා කල පටන් ම උගන්වා තිබේ. තිලොවග තිලක බුදු පියාණන් වහන්සේ බුදු බවට පත් වූ වහාම මුලින්ම කළේ තමන්ට බුදු වීමට සෙවණ දුන් බෝ රුක දෙස හත් දවසක් පුරා ඇසි පිය නොහෙළා බලා සිටීමෙන් කළ ගුණ දැක් වීම යි. ගසකට කළ ගුණ දැක්වීමට වෙන ක්‍රමයක් නැති බැවින් උන් වහන්සේ එසේ කරන්නට ඇත. ඉන් පසු උන් වහන්සේ තමාගේ මුල් ගුරුවරුන් සොයා ගෙන තමා අවබෝධ කර ගත් දහම එතුමන්ලාට දෙසීමට වැඩම කළේ ද කළගුණ දැක්වීම පිළිබඳ අමතක නොවන ආදර්ශයක් අපට දෙමිනි.

මෙසේ කළගුණ සැලකීම පිළිබඳ ආදර්ශ දහසක් අසමින්, කළගුණ සැලකීම අගය කරන සමාජයක හැදෙන වැඩෙන අපි දු කළගුණ සැලකීමට හුරු පුරුදු වීම අරුමයක් නොවේ. මේ පුරුද්ද නිසා අපි හැම විටම බලන්නේ අපට උදව් කළ අයෙකුට පෙරළා කළගුණ සලකන්නට ය.

ඉතින් අපි රස්සාවකට ගියත්, කවුන්සිලේට ගියත් කොහේ හෝ යමක් කමක් කර ගන්නට හැකි තැනකට ගිය වහාම කළගුණ සලකන්නට පටන් ගන්නෙමු. හැකි හැකි අයුරින් හත්මුතු පරම්පරාවටම එසේ සලකන්නෙමු. මෙය වැරදි විදියට දකින අය එයට ඥාති සංග්‍රහය යැයි නමක් පටබැඳ නිග්‍රහ කරති. මෙය ඉන්තේරුවෙන්ම වැරදි කතාවකි.  කළගුණ සැලකීමට ඥාති සංග්‍රහය යැයි කියා අපහාස කරනවුන් උන්ගේ අදහස හරි යැයි කියන්නට ගෙනෙන තර්කය වනුයේ එසේ කළගුණ සලකන්නේ සලකන්නවුන්ගේ බූදලයෙන් නොවේ ය යන කාරණය යි. මේ තර්කය ගෙනෙනවුන් වැඩි දෙනෙක් අර මහතුන් මෙන් මහජන මුදලින් කළගුණ සලක්නට අවස්ථාව නොලද බහුතරයක් ඡන්ද දායක ගොයියන් ය.

එහෙත් මේ ඡන්දදායක ගොයියන් ද කළගුණ සැලකීම පිළිබඳ ව වූ කාරණයේ දී ඔවුන්ගේ විවේචනයට භාජනය වන අර මැම්බර් මහතුන් ට වඩා වෙනස් නොවන බව මට නම් හොඳටම විශ්වාස ය. ඒ ඇයි?

ඡන්දය දවසට මේ ඡන්දදායක ගොයියන් ඡන්දය දාන්නේ මොකටදැයි ඇසූ විට කියන්නේ කුමක් ද? රට බේරා ගත් නිසා එතුමාට කළගුණ සලක්නට ඡන්දය දෙනවා කියා ය. අපොයි රට බේරා ගත්තා වෙන්න නම් පුළුවන් හැබැයි ඊට පස්සේ රට උගස් තියලා හොරා කෑවා නේද කියා කවුරු හෝ කීවොත් අර ගොයියා කියන්නේ මොකක් ද? රට බේරා ගත් උත්තමයා ටිකක් කෑවම මක් වෙනවාද කියා ය.  එසේ කියා ගිය පණස්හත් ලක්ෂයක් ම උත්තමයාට කතිරය පූජා කළ හ.

ඉතින් අර මහජන මුදලින් කළගුණ සලකන මැම්බර්ලාත්, සිය උත්තරීතර ඡන්දයෙන් උත්තමයාට කළ ගුණ සැලකු ඡන්දදායකයාත් සමාන වෙන්නේ කොහාමදැයි ඔබ දැන් මගෙන් අසනු ඇත. ඕක දැන ගන්න නම් පොඩි පරීක්ෂණයක් කළ යුත්තේ ය.

රට බේරාගත් උත්තමයාට කළගුණ සලකන්ට යැයි පොඩි අරමුදලක් ආරම්භ කර, අර ඡන්දය දුන් ගොයියන්ගෙන් රුපියල් දෙදාහ ගාණේ එකතු කරන්න යන්න. ලක්ෂ දහයක්වත් දායකත්වය ලැබුණොත් පුදුමය. ඔය සල්ලි එකතු කරලා මොනව කරනවද කවුද දන්නේ ආදී වශයෙන් අරමුදලේ යහ පාලනය ගැන සංවේදී කම පෙන්වා වැඩි දෙනෙක් දායකත්වය මග හරිිනවා ඇත.

එහෙනම් අර ඡන්දදායක ගොයියන් ඡන්දයෙන් කළගුණ සලකන්නට නොපැකිළ ඉදිරිපත් වුණේ මන්ද?  ඡන්දයෙන් පත් වූ පසු උත්තමයා බිලියන් ගණන් කෑවත් ඒ කන්නේ මගේ සල්ලි නොව රටේ සල්ලි නිසා ය. අනුන්ගේ සල්ලි වලින් කළගුණ සැලකීම සහ තමන්ගේ සල්ලි වලින් කළගුණ සැලකීම යන කාරණයේ දී ඡන්ද දායකයන්ගේ හැසිරීමත් මැම්බර්ලාගේ ක්‍රියා කලාපයට වඩා වෙනස් වෙන්නේ නැති බව මා කියන්නේ එබැවිනි.

No comments:

Post a Comment