Sunday, February 1, 2015

ඒ ඒ බනිස් වලට ලැබෙන ඒ ඒ කෙසෙල්ගෙඩි

අපේ රටේ ජනතාව තමන්ගේ මැම්බර් ප්‍රජාව කෙරෙහි එතරමි ම මනාපයක් නැත. එයට හේතු කාරණා ලෙස නහුතයක් දේ ගෙන හැර පානු ලැබේ. දැන් දැන් මැම්බර්ලා අතර කුඩු කාරයෝත් එතනෝල් කාරයෝත් ඉන්නා බවද කියති. මැම්බර්ලාගෙන් බහුතරය  නිසැකව ම නමගිය චණ්ඩි වෙති. තමන්ගේ නමට නඩු හත අටක් වැටී නැති දෙතුන් වතාවක් හිරේ ලැග නැති මිනීමැරුම් දෙක තුනකටවත් නම ගෑවී  නැති මැම්බර් කෙනෙක් මැම්බර් කෙනෙක් යැයි නොසිතෙන තරමට මේ කාරණා මැම්බර් ප්‍රජාවට සාමාන්‍යකරණය වී ඇත. මැම්බර්ලා පොලීසියට චණ්ඩි පාට් දාන බවත්, ඒ නිසා නීතිය වල් වැදී ඇති බවත් කියනු ලැබේ. පත්වීමක් මාරු වීමක් ගැනීමේ දී මැම්බර්ලා ගේ අත පෙවීම් නැති තැනක් නැතැයි කියමින් ඡන්දදායකයෝ හූල්ලති.

ඉතින් හත්වලාමේ, මේ මැම්බර් මහත්වරු මේ තරම් භයංකර සත්ත්ව විශේෂයක් බවට පත් වන්නේ මක් නිසා ද?

මේ ගැන සොයා බැලීමට නම්, චණ්ඩි කම් නොකරන, නීති ගරුකව කටයුතු කරන, මනමාලකම් නැති සාන්ත දාන්ත තීන්ත කූඩුවක් බඳු වූ පරමාදර්ශී මහතෙකු ආදර්ශයක් ලෙස සොයා ගත යුතු ය. අපගේ අතත්‍ය (Virtual) ලෝකයේ සිටින මේ  මහතා ඡන්දයකට ඉදිරිපත් කර මැම්බර් මහතකු බවට පත් කළ යුතු ය.

මෙවැනි අහිංසක මැම්බර් මහතකු සිය දේශපාලන ජීවිතය අරඹා ටික කලක් යන විට ඔහුගේ ඡන්දදායක මහත්වරු මහත්මීහු ඔහු සොයා එන්නට පටන් ගනිති. සමහරවිට මහ රෑ ගෙදරට දුව එන අම්මණ්ඩි කෙනෙක් මෙසේ කියනු ඇත. “මගේ මිනිහ පොලීසියෙන් අල්ලං ගියා මහත්තයෝ...අනේ මගේ මිනිහ බේරල දෙන්න මහත්තයෝ“ ඉතින් අපේ මැම්බර් මහත්තයා පොලීසියට කතා කරයි. “හෙලෝ...ඕ.අයි.සී. මහත්තයා ද....මොකද අර සයිමන් කියල කෙනෙක්....ආ....ඔව් මිනියක් මරලා....සාක්කි තියෙනවා ...ඔව්.. ...නෑ...එහෙනම් කමක් නෑ...රාජකාරිය කරන්න..ගුඩ් නයිට්“ ඉන් පසු එතුමා අර අම්මණ්ඩිට මෙසේ කියයි....“ඔය නෝන මහත්තයගෙ මහත්තය පොලීසියෙන් ගෙනිහින් තියෙන්නෙ මිනී මැරුමකට සැක පිට...සාක්කි ඇතිව...ඉතින් පොලීසියෙ රාජකාරියට අපට මැදිහත් වෙන්න බෑ නෙව...උදේට යන්න පොලීසියට. ..උසාවියට දැම්මම ඇප දීල ගන්න පුළුවන්ද කියල බලන්නකො“

මේ ආකාරයට ළමයි ඉස්කෝලෙ දමා ගැනීමට, රස්සා වලට ලියුම් ගැනීමට, මාරුවීම් හදා ගැනීමට, වැලි ලයිෂන්, බාර් ලයිෂන් ගැනීමට ආදී වූ දහසකුත් එකක් කාරණාවලට එතුමා සොයා එන  නහුතයක් ඡන්දදායක මහජනයාට කියන්න වෙන්නේ ද මෙවැනිම කතා ය.

දැන් අපේ මේ පරමාදර්ශී මැම්බර් මහතා ඊළඟ ඡන්දයට ද ඉදිරිපත් වේ. දැන් ඡන්දදායකයන්  කුමක් කියනු ඇත් ද?

“අපොයි ඔය මිනිහ කවුන්සලේට ඇරල මක් කොරන්න ද? මගේ මිනිහ පොලීසියෙන් ගෙනිච්ච වෙලාවෙ ඔය පතෝලයට බැරි වුණා මිනිහ එළියට ගන්න...අන්න ඒකට කලින් හිටිය මැම්බර් .රත්තරන් මහත්තයා...පොලීසියට ගිහින් ඕ අයි සීට කුණුහරුප දෙකයි කිව්වේ...මිනිහා එළියේ..“

“ හැබෑම තමා...අපේ පොඩි එකා මහා විද්‍යා ලෙට දාල දෙන්න ඔය මිනිහට කිව්වම බෑ කිව්වනේ..ඔය වගේ වැඩක්වත් කරවගන්න බැරිනම් මොකටද ඔය මිනිහට ඡන්දෙ දෙන්නේ“

අවසානයේ සිදුවන්නේ අපේ පරමාදර්ශී මැම්බර් මහතා හිටපු මැම්බර් වී කලින් හිටි චණ්ඩි මැම්බර් බලයට පත් වීමයි.

මැම්බර්ලා පත් වන්නේ ඡන්දදායකයන්ගේ ඡන්දයෙනි....මැම්බර්ලා යනු ඡන්දදායකයන්ගේ ම පිළිබිඹු වෙති.

ඒ ඒ බනිස් වලට  ඒ ඒ කෙසෙල්ගෙඩි යැයි කියන්නේ කට කහනවට නොවේ.



1 comment:

  1. බ්ලොග් එකට බ්ලොගර් ෆලෝවර් එක දාල , අකුරු ටිකක් ලොකු කරන්න

    ReplyDelete